Monday, May 29, 2017

මැදියම් රැයේ හමුවූ බෝදිලිමා ( සාමාන්‍යයෙන් ඔබ්බට ගිය සත්‍ය කථාව )

 පට්ටිපොළට හිරු බැස යන්නේ එතෙක් පැවතියාවූ සොඳුරු පරිසරය මුලුමුනින්ම වෙනස් කරමිනි .සොඳුරු දසුන් එකවනම මිහිදුමත් සමඟ ගලා එන්නාවූ අඳුරින් වැසීයයි .
                                  මධ්‍යාහනට පසු එකවනම රාත්‍රිය උදාවීම පට්ටිපොල ප්‍රදේශයට වසරේ එක කාර්තුවදී මුහුණදීමට සිදුවන්නාවූ ස්වාභාවික සිද්ධීයකි . අප කඳවුරු බැඳි ඒ මාසයද , පෙරකී කාර්තුවට අයත්වූවකි . පට්ටිපොල පතනයේ ලඳුකැලෑ අතරින් මිනිස් ඇසින් වෙන්වී ගිය සො‍ඳුරු දිය ඇල්ලක් සොයා යන ගමනක අපි නිරතවී සිටියෙමු . දින දෙකක් ගතකොට දිය ඇල්ලවෙත ලඟාවීමටද අනතුරුව එලඹෙන දින දෙක යලි පැමිනීමටද යොදාගත් අතිවෙහෙසකර ව්‍යායමයක දෙවන දිනයේ දිය ඇල්ල අද්දර කඳවුරු බැඳගැනීමට අපට හැකිවිය .
                                                      ආවේනික සර්පයින් කීපදෙනෙක් හමුවීම හැරුනුකොට මේ දින දෙක තුල අපට මුහුණදීමට සිදුවූ කිසිදු ජීවිතාවදානමක් හෝ අණතුරක භීතියක් නොවීය . 
                                              නමුත් දැන් අප මේ මුහුණදී සිටින්නේ කුමන ආකාරයේ අවදානමකටද !!  සියළුදෙනාම භීතියෙන් තැතිගෙන සිටී . කූඩාරම තුල එල්වූ ලන්තෑරුමේ මන්දාලොකයෙන් හා කඳවුර ඉදිරියේ දැල්වෙන ගිණිමැලයේ ආලෝකයෙන් මා දුටුවේ අප මඟපෙන්වන්නන් පවා භීතියෙන් තැතිගෙන සිටින ආකාරයයි . ඔවුන් අපගේ බලවත් ඉල්ලීම මත දින හතරක මේ ගමන සඳහා සහභාගී වු අහිංසක ගැමියන්ය . 
                                     අඳුර හා මීදුම විනිවිද යමින් ඇසෙන්නේ කාගේ කුමන හඬද යන්න මාගේ මනසේ විදුලි කෙටීමට  ගතවන්නට ඇත්තේ තත්පර කිහිපයකි . මින් පෙර එකවරක් පමනක් අසා ඇති ඒ භීතියේ හඬ, යලි කිසිදා නොසන්නට පැතූ ඒ මුසල හඬ යලිත් ඇසෙන්නට වීම අනෙකුන්ට වඩා මා සිත සලිත කලේ . සොඳරිගෙන් දෙවන වරමක්  ලැබීම සිදුවන දෙයක් නොවන බව කලකට පෙර වෙද සීයා පැවසූ වදන මනසේ හොල්මන් කරන්නට වීම නිසාය . 
                                        බඩදරු අම්මා‍ කෙනෙක් විලිරුදාවෙන් නඟන හඩට නොව , සොඳරි ගේ හඬ සමාන වන්නේ විලිරුදාවෙන් මියෙන්නට දඟලන කාන්තාවකගේ හෝ පාපතරයෙකු විසින් ගෙල හිරකිරීම නිසා වේදනාවෙන් කෑගසන කාන්තාවකගේ හඬටය . සියළුම සංවේදී ඉන්ද්‍රියන් හිරිවැටෙන ආකාරයෙන්  සිදුවෙමින් පවතින මුර ගෑම හමුවේ විනාඩි කීපයකට පෙර පැවති නිසල විනෝදාස්වාදය පලාගොස් ඇත . කඳවුරු බිමේ පිරිමින්ම සත්දෙනෙකි . 
                     නමුත් ප්‍රතිමල්ලවයා මිනිසෙකු නොවේ !!!! ‍ කිසිවෙකු නොදුටු අමනුස්සයෙකි , නැත්නම් දුටු අයවලුන් සිහිවිකල් කලාවූ සත්වයෙකි . අපි කෙසේ නම් මීට මුහුණ දෙමුද !!!
                                  මයිලක් පමණ ඈතින් ඇසුන වේදනාකාරී හඬ ලං වෙමින් පවතී .බෝදිලිමා පහර දෙන්නේ එලෙ‍සින්ය . ඔය ඇසෙන්නේ අණතුරු ඇඟවීම විය යුතුය . සිංහල සේනාව එනවිට වැයෙන රණ බෙර ඇසුන පෘතුගීසින්වත් මේ තරම් අසරණ නෙවෙන්නට ඇත . 
                    අප කිසිවෙකුටත් කථා කරගත නොහැකි තත්වයකට පත්වී ඇති සෙයකි . ගිණිමැලයේ ආලෝකයෙන් දිලෙන ,  මීටර් දහයක් පමණ ඈතින් ඇති ලඳු කැලෑවේ ආරම්භය දෙස සියල්ලෝම නෙත් යොමා සිටින්නේ කොයි මොහොතක හෝ  පඳරු අතරින් එලියට ඇදෙන අපේ මරණය බලාපොරොත්තුවෙන්ද !!!
                                        මරණ භය , මිනිසෙකුට දැනෙන්නේ ජීවිතයේ අවස්ථා කීපයකදී පමණක් විය හැක . නැත්නම්  අවසන් මොහොත තෙක් දැනෙන්නේ නැත. නමුත් අප මේ මුහුණ දී සිටින්නේ පිරිමින් සත් දෙනෙකුට මරණ භය දැනෙන මොහොතකටයි . ඒ දැනෙන්නෙත් උපරිමයට බව ඉර හඳ මෙන් විස්වාසය. අවට සිටින මා මිතුරන්ගේ මුහුණු ඇකිලී ඇත්තේත් ,ඔවුන් බලාගත්වනම බලාසිටින්නේත් ඇයි දැයි කියා සිතාගැනීමට නොහැක. හිස කරකවා වටපිට බලන්නේ මා පමණද !!! 
                       " සංජීව " මා අසලින්ම සිටි මිතුරා දෙස බලා  ආමන්ත්‍රනය කලද ඔහු‍‍ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීම පුදුමයක් සේම මා සිත්හී ඇතිවුන භීතිය දෙගුන කිරීමටද හේතුවක් විය . 
                             " සම්පත් , රජී , අඩෝව් කථා කරපං යකෝ  මොනව හරි කරමු ගනිං ඔය ‍ගිණිපෙල්ලක් අතට ...... මොකෙක් හරි සතෙක් වෙන්න ඇති "
එසේ කලේ හිත රවටා ගැනීමටය . තව මොහොතකින් මා මීට වසර පහලොවකට පෙර දුටු අප්‍රසන්න දසුන දකින්නට වෙන බව හොඳාකාරවම දනිමි .
                                මා ඇමතුවේ අනිත් මිතුරන්ටය . නමුත්  ඔවුන් නිසලය ........... වශීවී ඇති ආකාරයකින් ඔවුන් බලාගත් අතම බලාසිටී . කරන්නට දෙයක් නැතිකමින් සම්පත්ගේ උරහිසට තද පහරක් එල්ලකලේ ඔහුව නිද්‍රාවෙන් ගලවා ගැනීමටය . නමුත් අසාර්ථකය. 
                                  පඳුරු තැලෙන හඩු ඇසෙයි . අවදිව ඇත්තේ මා පමනි ........ තවත්  සුලුමොහොතකි ....... වසර පහලොවකට පෙරදුටු අප්‍රසන්න රුව හොඳින් ගිණී එලිය නොඑන මුල්ලක පෙරලෙමින් දඟලනු පෙනින. මිතුරන් වශිවී හෝ භීතිය නිසා ගල්ගැසී ඇත . මා පමණක් මේ අමනුස්ස ග්‍රහණයට නතුනොවුයේ ඇයි .
                                                 දහනවය කන්ද මුදුනේදී මහසෝනා මුණගැහුනු ආකාරයත් ගැලවුන ආකාරයත් තත්පර කීපයක කාලයකදී විදුලි කෙටුවාක්මෙන් සිහිවිය . අමනුශය ග්‍රහනයට මා නතුනොවන්නේ උපන් වෙලාව හා ගණය නිසා බව වෙද සීයා පැවසූ ආකාරයද ඒ සමගම සිහිවුන නමුත් මෙහිදී මා කලයුත්තේ කුමක්ද  .
                                            මනස වසර පහලොවක් අතීතයට යන්නට ගතවූයේ සුලුමොහොතකි . එදා බෝදිලිමා අපේ මිදුලේ දර්ශනය වූ විට වෙද සීයා මැතුරුවේ කුමක්ද !!!
" ඒ සතා ආව වෙලාවේ මොනවද සීයේ කිව්වේ ඒ "
" ඒක බොහොම බගතු මන්තරයක් පුතේ "
" මටත් කියලා දෙන්නකෝ "
" තව ලොකු වෙද්දි පුලුවං වෙයි නිකම්ම , දහම්පාසලට යද්දි උගන්නනවා "
" මන්තර උගන්නවයැ දහම්පාසලේ "
" මේක මන්තරයක්ම නෙවෙයි , ආරක්ශක පිරිතක් පුතේ රතන සූත්‍රය......"

                              ඔවු රතන සූත්‍රය ........ එකල එම සූත්‍රය නොදැන සිටියත් පසු කාලීන දහම් අද්‍යාපනය සමග එය සෙල් ලිපියක් සේ මනසේ තැම්පත්වී තිබිනි . සැලෙමින් වේදනා දෙමින් ඳඟලමින් කෑගසන ගුලිය දෙස බලාගෙන රතන සූත්‍රය තොල් මැතිරෙන්නට ගත්තේ  සිතාමතා නොවේ .....
                                    මෙතෙක් වෙලා සෙමෙන් ඉදිරියට එමින් තිබූ ගුලිය නැවතුන අතර ආපස්සට පෙරලී යන්නට විය පඳුරු අතරින් එය අතුරුදන්වීමටත් වේදනා කාරී හඬ නැවතීමටත් ගත්වූයේ සුලුමොහොතකි . පසුව සියල්ල අඳුරුවිය.
පසුදා අළුයම හිරු කිරන දිය ඇල්ලේ මුදුන සිප ගනිද්දී අප ආපසු ගමනට සූදානම් විය.
                                පෙරදා රාත්‍රියේ සිදුවීම ගැන කථා කලද සිදුවූයේ මොනවාද කලේ මොනවාද යන්න ගැන කිසිවෙකුටත් නිවැරදි මතකයක් නොවීය . රතන සූත්‍රය මැතිරීම හා ගිරිය යටින් මොර දෙන හඩ හැරුනුකොට මටත් කිසිවක් ගැන නිවැරදි මතකයක් නෙවුන නමුත් කළු පැහැති අප්‍රසන්න ගුලි ගැසුන සත්වයා හා ඌ සූත්‍රයකට බියවී පලාගිය අයුරු මනසේ තැම්පත්වී තිබිනි. 
සමහර විට තෙවනි වරයක් සොඳරිගෙන් මට නොලැබෙනු ඇත !!!!


ප/ලි - මේ ලියන්නේ විද්‍යාත්මක බණ දෙසන්නට එන අයටය , මේ සිදුවීම විද්‍යාත්මකව පැහැදිලි කිරීමට නම් එයට මුහුන දිය යුතුය . බෝදිලිමා කටුස්සෙකු හෝ වෙනත් සතෙකු විය හැකි බවට මත ඇත . බෝදිලි කටුස්සා නමින් කටුසු වර්ගයක් සිටින බව සියල්ලෝම දන්නා කරුණකි .   එය සත්‍යකි  නමුත් එම කටුස්සාට මෙවන් ශබ්ධයක් පිට කල හැකිද ? එසේම , සුත්‍රයකට බියවී පලා යන්නේ මන්ද ? 
 උත්තර නැත !!! මටත් එලෙසමට .
    

0 comments:

Post a Comment